Sunday, July 28, 2019

සරසවිය හා පිරිත් හා වැඩවසම් පඹයෝ


කොළඹ සරසවියේ පිරිත් දේශනයේ ඡායාරූපය දුටු වාමාංශික විප්ලවවාදී පොතේ ගුරුන් බොහෝ පිරිසක් කලබලයට පත්ව විශ්වවිද්‍යාලවලට පිරිත් නො ගැළපෙන බවට හා විශ්වවිද්‍යාලවල තත්වය පහල වැටී ඇති බවට ඉතා මනස්තාපයට පත්ව ඇති සේ පෙන්වන්නට දැඟලූ තරම පසුගිය දින කීපයේ අපි දුටිමු.

මේ නූතනත්වයේ කරවටක් ගිලුණු වාමවාදී දාසයින්ට අමතක වී ඇත්තේ වැඩවසම් යුගයේ ඇරඹුණු විශ්වවිද්‍යාලවල අද පවා උපාධිප්‍රදානෝත්සවය කෙතරම් විප්‍රකාර වැඩවසම් ශෛලියකින් පවත්වා ගෙන යනවා ද යන්නයි.

මේ පිළිබඳව කතා කිරීමට දිව නො නැමෙන වම්මු පිරිත් කීමට පමණක් විරුද්ධ වන්නේ ඇයි?

මෙවන් අතිපණ්ඩිත වාමාංශික සිසුන් සරසවිවල ද අපට හමුවේ. ඔවුන්ට අනුව බුදුන් වහන්සේට මල් පූජා කිරීම අපහාසයකි. මල් යනු ශාකවල ලිංගික අවයවයන් ය.

මෙසේ කියන වාමාවාදී සිසුන් ශිෂ්‍ය වීරයින් සිහි කිරීමට මේ සියලු සංකේත ඇති උපහාර උත්සව සංවිධානය කරමින් ඒවාට ශාකවල ලිංගික අවයව ද සම්බන්ධ කරගනු දක්නට ලැබේ.

ඉන්දීය ආක්‍රමණයට එරෙහි කොටුවේ විරෝධයට වසර තිස් දෙකයි



1987 ජූලි 28 වන දින මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මවුබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරය මඟින් සංවිධානය කරනු ලැබූ, ජූලි 30 වන දින ජේ.ආර්. ජයවර්ධන පාලනය අත්සන් කිරීමට නියමිතව තිබූ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කොටුවේ පැවැත්වූ මහා උද්ඝෝෂණයට ඊයේට වසර 32ක් සපිරෙයි.
උද්ඝෝෂණයට පොලිස් වෙඩි ප්‍රහාර එල්ල වූ අතර එහි දී ඡායාරූපයේ දැක්වෙන මොරටුව විශ්වවිද්‍යාලයේ ක්ලිෆර්ඩ් පෙරේරා පළමුව ඝාතනය වූ අතර මොරටුව විශ්වවිද්‍යාලයේ නිමල් ලියනගේ ඇතුළු තව 20 දෙනකු එම වෙඩි ප්‍රහාරවලින් ඝාතනය විය.

ඡායාරූපය: ලංකාදීප


අනතුරුව රජය ගිවිසුම අත්සන් කළේ ඇඳිරි නීතිය පනවා සිසුවියක් හා සිසු හිමිවරුන් දහයක් ඇතුළු සරසවි සිසු නායකයින් 88ක් සිරගත කරමිනි.

කොළඹ සරසවියේ ගෙවිදු කුමාරතුංග, පුෂ්ප විතානගේ, හේමන්ත චන්ද්‍රසිරි, අනූප පැස්කුවල්, රොෂාන් ගුණවර්ධන, එම්.ඩී.එච්.එම්. විමලසූරිය, විරාජ් පීරිස්, මංගල හිමි, ආනන්ද හිමි, උපනන්ද හිමි, ආයුර්වේද පීඨයේ නිමල් කරුණාසිරිද පේරාදෙණි සරසවියේ රංජිතම් ගුණරත්නම්, අයි. බාලසූරිය, ජූඩ් පරාක්‍රම, ධර්මප්‍රිය ජයනන්ද, සුසන්ත සපුතත්ත්‍රී,  මහේෂ් පෙරේරා, මොහොමඩි ඉක්බාල්, වී. අරුන්දවරාජා, එන්. සිවනේස්වරන්, නයනා ප්‍රේමසිරි, එම්. එස්. ආර්. කුරේ, කීර්ති කුමාර මද්දුමපටබැදිගේ, එල්. අබේරත්න, එස්.ඊ. මොල්ලිගොඩ, ප්‍රසන්න වික්‍රමසිංහ, රංජිත් රණවීර, තිලකසිරි වනසිංහ, ජේපී. ප්‍රනාන්දු, අතුරලියේ රතන හිමි, පොද්දල්ගොඩ ඛේමානන්ද   හිමි, මැදගම පඤ්ඤසාර හිමි, නන්දසිරි බලන්ගොඩ, සාලිය යාලපොල, එස්.ඒ.ජේ.කේ. ගුණතිලක, සුමනරත්න ජයසිංහ, මහේෂ් ද සිල්වා, විරෝෂන් ගුණසේකර, දුම්බර මණ්ඩපයේ පානදුර ආනන්ද හිමි, මොරටු සරසවි සිසුන් වූ සුනිල් ශාන්ත, ඩී.එන්.ද. සිල්වා, සුමිත් ද අල්විස්, අශෝක අභයගුණවර්ධනද රුහුණු සරසවියේ ඊ.ඒ. එදිරිසිංහ, පී.එස්.කේ. ආරියරත්න, විස්මන් පෙරේරා, විමලසිරි, ප්‍රේමතිලක, ඩී.ආර්. නිශ්ශංක, ඩේමියන් වීරක්කොඩි, ප්‍රසන්න හිරිමුතුගොඩ, තිලක් ගුණවර්ධන, බී.ඒ. විජේසිරි, හරිස්චන්ද්‍ර, නිමල් ඩී. රුවන්පතිරණ, ආර්. සමරසිංහ, දේව මයිකල් පෙරේරා, ජනිදාස, තිලක් තීරවැල්ල, සරත් පීරිස්, එම්. ධර්මතිලක, සිරිමාන්න, එම්. බී. ජයසිරි, බී.එල්.කේ. නන්දසේනද ජයවර්ධනපුර සරසවි සිසුන් වු හේමන්ත අබේසූරිය, නන්දසිරි, සමරතුංග, කමල් ප්‍රනාන්දු, ප්‍රීතිමාල්, ලලිත්, පාලිතද. කැළණිය සරසවියෙන් මොහාන්ලාල් වල්ගමගේ, රුවන් වසන්ත, බලහරුවේ සෝම හිමි, සේනාධීර, මාදම්පේ නන්දාරාම හිමි, දුනකවත්තේ ගුණරත්න හිමි, ගම්මාදගම ගුණසිරි හිමි

ඇතුළු පිරිසක් එසේ සිරගත කරන ලදී.

ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහිව ජාතිකත්වය මත පදනම්ව සටනකට උර දුන් මියගිය සිරගත වූ සැමට අපගේ උපහාරය පළකරන මේ මොහොතේ දී අප මොරටුව විශ්වවිද්‍යාලයේ ක්ලිෆර්ඩ් පෙරේරා හා නිමල් ලියනගේ සහෝදරයන් ද විශේෂයෙන් සිහිපත් කරමු.

 මේ වන විට ජාතිකත්වයෙන් පීළි පැන ඇති වාමාංශික පක්ෂ ජාතිකත්වය වෙනුවෙන් කෙරුණු සටන් හා ඒවාට උර දුන් වීරයින් සංකේත බවට පත්කොට අත්පත් කර ගැනීමේ උත්සාහයන් හෙළා දකිමින් ම 1987 කොටුවේ අරගලය ස්මරණය කරමින් මියගිය සැමට පින් අනුමෝදන් කරමු.
                        -

Saturday, July 27, 2019

නවකවදය හා ශිෂ්‍ය ව්‍යාපාරය




නවකවදය සරසවි පද්ධතිය අප්‍රසාදයට පත් වන ප්‍රධාන හේතුවකි. නවකවදය දෙන බව පවතින බව සැවොම දනිතත් පුදුමාකාර ලෙස ශිෂ්‍ය සංගම් මෙහි වගකීමෙන් අත පිහ දා ගනිති.

"විශ්වවිද්‍යාල කියන්නෙත් බාහිර සමාජයේ ම කොටසක්. බාහිර සමාජයේ පසුගාමීත්වය ඒ ඇතුළෙ ම තියෙනවා. අපිට මේක වෙනස් කරන්න බෑ."

මෙහෙම කියන ශිෂ්‍ය සංගම් නායකයින් බහුතරය එළියේ සිස්ටම් එක වෙනස් කිරීමට කතා කරන විප්ලවවාදීන් ය.

"කැම්පස් එකේ වැඩට ළමයි ගෙන්න ගන්න රැග් කරන කෙනා නරුමයෙක් විදිහට දකින්න බෑ."

විප්ලවවාදීහු තවදුරටත් ඉතා ම ගතානුගතික වෙති.

තවත් ටිකක් දුර යන විට ඔවුහු මෙහෙම ම කියති.
"රැග් එකට ළමයි ගන්නේ ඒ අයගේ කැමත්තෙන්. නවකයා රැග් එකට කැමති කර ගැනීම ජ්‍යෙෂ්ඨයාගේ පෞරුෂය ගැන දෙයක්"

මෙහෙම කියන විප්ලවවාදීන් හැන්දෑවට බුකියට ලොග් වී කියන්නේ පාලකයා අනුමත කරන ජනතාවක් බිහි වෙන්නේ පාලක පන්තියේ හෙජමනිය නිසා බව ය.

වෙනත් පිරිසකගේ ආධිපත්‍යය කැමැත්තෙන් පිළිගැනීමට ලක් කෙරෙන තත්වය හෙජමනිය ලෙස ඔවුන් වැඩිදුරටත් කියනු ඇත.

නවකවදය ඇති වන්නේ පේරාදෙණිය සරසවියේ කුල්ටූර් ඕපැක් බෙදුම පසුබිම් කරගෙන බව පෙනේ. පසු කාලීනව එය විවිධ ප්‍රවේශවලින් වර්ධනය වුණු අතර අනූව දශකයේ සිට දේශපාලනික මෙවලමක් වශයෙන් නවකවදය යොදා ගැනීම ඇරඹුණි.

ශිෂ්‍ය ව්‍යාපාරයේ වාමාංශික බලවේග නවකවදය ගැන දැක්වූයේ ඇල්මැරුණ ප්‍රතිචාරයකි. එක්කෝ ඔවුහු යටි හිතින් එය තිබිය යුතු යැයි සිතූ හ. නැතිනම් දේශපාලනය සඳහා තිරයෙන් පිට එය යොදාගත් හ.

නවකවදය ඉවත් කිරීම සිදු කළේ ජාතිකවාදී ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය බලයට පත් වුණු තැන්වල පමණි.

දේශාපාලන බලවේගවලින් පිටත සිසුන් නවකවදය අනුමත කරන ප්‍රධාන කරුණු වන්නේ සිසුන් පොදු සමාජ ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීම නවකවදය නිසා නොවන්නට ඉතා අඩු බවයි.

එහෙත් පැහැදිලිව ම මේ වන විට පෙනෙන්නේ නවකවදය තිබුණ ද එම කාල සීමාවෙන් පසු බුද්ධිමය හෝ සංස්කෘතික වැඩසටහනකට සිසුන් සහභාගී නොවන තරම් බව ය.

මෙයට හේතුව වන්නේ සරසවියට ඒමට පෙර සිට ම සිසුන් බාහිර පරිසරයේ දී නවකවදයට ද වඩා දරුණු අසීමිත වදයකට ලක් වීමයි. අපේ අධ්‍යාපනය ඵල රහිත පීඩනයට ලක් කිරීම්වලින් පිරී ඇත. දහතුන් අවුරුද්දක් වදයෙන් හෙම්බත් වන සිසුන් සරසවියට පැමිණ කිසිදු බුද්ධිමය ක්‍රියාකාරකමක නොයැලී සහතික රැගෙන ඔහේ පිට වී යෑම අරුමයක් නො වේ. මේ වදයට විරුද්ධව නවකවදය ගෙන ඒමෙන් මෙය විසඳෙන්නේ නැත.

නවකවදය ඉවත් කිරීම සමඟ ම මේ පැරණි වදය ද ඉවත් කිරීමට උත්සුක විය යුතු ය.

මේ අතරතුර මිතුරකු නවකවදය පැවතීම ගැන කී කතාවක් සිහියට නැඟේ.

නවකවදය ජ්‍යෙෂ්ඨ සිසුන්හට කනිෂ්ඨ සිසුවියන් වෙත ප්‍රවේශ වීම සඳහා පහසු මාවතකි.
මේ පිළිබඳව ආමන්ත්‍රණය කිරීමෙන් තොරව නවකවදය අවසන් කිරීම කිසිදා නොවනු ඇත.


ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි 1987 කොටුව ජන සටන

"ඉන්දීය රජය මගින් ඉන්දු ශ්‍රී ලංකා  ගිවිසුමට පිඹුරුපත්  සකස් කරගෙන යන ලදී. මේ සදහා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි, ජනාධිපති ජයවර්ධන සමඟ සහ ප්‍රභාකරන් සමඟ නිරන්තර සාකච්ඡා පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජෝතීන්ද්‍රනාත් ඩික්සිත් සහ අමාත්‍ය ගාමීණී දිසානායක එහි ප්‍රධාන භූමිකාව සිදු කළේය. කපුකම කළේ හින්දු පුවත්පතේ සම කර්තෘ එන්. රාම්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 13වන වරට සංශෝධනය කරමින් පළාත් සභා හඳුන්වාදීමට යෝජිත ඉන්දු ලංකා ගිවිසුම රටටම පිළිලයක් බව අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුද 1987 ජුලි 9 ප්‍රකාශ කළහ. යෝජිත ගිවිසුමට එරෙහිව අවි අමෝරාගෙන සිටියේ ජවිපෙ අදිසි නායකත්වය දුන් මව්බිම සුරකීමේ ව්‍යාපාරයයි. එහි නායකයින් වූයේ හැඩිගල්ලේ පඥ්ඥාතිස්ස මහනාහිමියෝ, මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුළු කිහිප දෙනෙකි.  

සිරිමා බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රිලනිප නායකත්වයෙන් යුත් මව්බිම සුරකීමේ සංවිධානය ගිවිසුමට එරෙහිව 1987 ජුලි 28වැනිදා විරෝධතාව පැවැත්වීමට තීරණය කළේ ටවුන් හොල්හි විහාර මහා දේවි උද්‍යානයේ බුදු පිළිමය ඉදිරිපිටදීය. ජවිපෙ අදිසි නායකත්වය දුන් මවිබිම සුරකිමේ ව්‍යාපාරය එදින විරෝධතාවය පැවැත්වීමට තීරණය කර තිබුණේ කොටුව බෝගහ අසළදීය.  සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් සිරිමා බණ්ඩාරනායක රොස්මීඩ් පෙදෙසේදී හමුවූ අතර විහාර මහා දේවි අසළ විරෝධයද බෝගහ අසළට ගෙන ගොස් ආණ්ඩු විරෝධී අරගලය වඩාත් සාර්ථක කරගැනීමට එක්වන ලෙස ඉල්ලා සිටියහ. ඇය ඇතුළු ශ්‍රිලනිපයේ මවිබිම සුරකීමේ සංවිධානයට එම තීරණයට අනුගත වන්නට සිදුවිය.
උපුටාගැනීම: ලංකාදීප

කොටුව බෝගහ අසළ විරෝධතාවය ආරම්භ කිරීමට තීරණය කර තිබුණේ උදෑසන 8.00ටය. එයට ප්‍රධාන හේතුව වූයේ උදෑසන දුම්රියෙන් සහ බස් රථවලින් වැඩට පැමිණෙන පිරිස්ද පාසැල් සිසුන්ද  කොළඹට දිනපතා පැමිණෙන දහස් ගණන් ජනයාද එක්කර ගැනීමට ඇති  එය සුදුසුම ස්ථානය බැවිනි. උදෑසන පෙරවරු 6.30ට පමණ ලේඛකයා එම ස්ථානයට යනවිට ඇතැම් ජවිපෙ නායකයින් කිහිප දෙනෙක් සහ බොහෝ ක්‍රියාකාරියන් කොටුව අවට විවිධ ස්ථානවලදී දක්නට ලැබිණි. ඒ අතර එච්.බී හේරත් සහ ගාමිණි විජේගුණසේකර එහි සම්බන්ධීකාරවරුන් බවට පත්වි තිබිණි. අප සමඟ ගිය ඡායාරූප ශිල්පින් වුයේ ගාමීණි අක්මීමන සහ චන්ද්‍රසිරි වීරසිංහය. එදින එළිවනවිට යෝජිත ගිවිසුමට, බෙදුම්වාදයට සහ එජාප එරෙහිව මුළු කොළඹම රක්ත වර්ණ පෝස්ටර් සහ වැකි වලින්ද කනු කළු කොඩි වලින්ද සරසා තිබිණි.

ගිවිසුමට අගමැති ප්‍රේමදාස, ඇමතිවරුන් වන ලලිත් ඇතුළත්මුදල සහ ගාමිණී ජයසුරිය ගේ සහායක් නොමැති බවට පුවත්පත්හි මාධ්‍ය ශිර්ෂ පාඨ විය. එබැවින් එජාපය තුළ සිටි ප්‍රේමදාස හිතැති කෙසෙල්වත්තේ 200ක පමණ කාන්තාවන් ප්‍රමුඛ කණ්ඩායමක්ද පැමිණ තිබිණි. අගමැතිතුමාට ජයවේවා කියමින් හඬ නගනවා ඇසිණි.උදෑසන 9.00 පමණ වන විට කොටුව බෝගහ අසලට 3,000කට ආසන්න පිරිසක් එක්වී සිටියහ. මාදුළුවාවේ සෝභිත හිමි, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ආචාර්ය විලේගොඩ අරියදේව හිමි ඇතුළු පිරිසක් විරෝධතා ව්‍යාපාරයේ නායකත්වය ගත්තේය. මහජන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන එහි සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේය. ශ්‍රිලනිප නායකයින් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, රිචඩි පතිරණ ඇතුළු ශ්‍රිලනිප නායකයින් කිහිප දෙනෙක්ද එහි විය.

ගිවිසුමට එරෙහිව කොටුවේ දී ඇරඹෙන විරෝධතාව ආණ්ඩුව පලවා හරින දැවැන්ත සටනක වෙඩි මුරය බවට පරිවර්තනය කිරීමට ජවිපෙ 1987 ජුලි මස මුල් භාගයේ සිටම කටයුතු සූදානම් කර තිබිණි. අන්තරේ ඉහළම පෙළේ නායකයින් විශාල කණ්ඩායමක් රත්මලාන පන්සලකට 1987 ජුලි 11වැනිදා කැදවා තිබිණි. ඩී.එම්.ආනන්ද එහිදී කියා සිටියේ සටන හරි තැනින් පටන් ගැනීමට හැකි තාක් පිරිස් කොටුව විරෝධයට එක්කර ගතයුතු බවය. ජවිපෙ නායකයෙක් වන එච්.බී හේරත්ද ජුලි මැදදී ජවිපෙ භික්ෂු අංශයේ ජාතික කමිටුවේ භික්ෂූන් වහන්සේලා අමතා කොටුව බෝගහ අසල විරෝධතාව ප්‍රබලතම සහ පුළුල්තම වැඩසටහනක් බවට පත්කිරීමට ඔවුනට වගකීම් පැවරූහ. සමස්ත සරසවි පද්ධතියද ප්‍රධාන පාසැල්වල සිසු කණ්ඩායම්ද රටපුරා ප්‍රධාන නගරවලට කැදවා ගෙන ඒමේ වැදගත්කමද ඔහු පහදා දුන්නේය. ජවිපෙ සමස්ත කාඩර්වරුන්ම රටේ ප්‍රධාන නගරවලට කැදවා විරෝධතා ව්‍යාපාරය මෙහෙයවන්නට සැලසුම් සකස් කෙරිණි.

වසර 1987 ජුලි 28 පෙරවරු 11.30 පමණ වන විට 20,000කට ආසන්න පිරිසක් කොටුව බෝගහ අසලට එක්වූ අතර කොටුවට එන සියළු මාවත් ඔවුන්ගේ හිස් ගොඩවල්වලට වැසී තිබිණි. භික්ෂූන් වහන්සේලාගේ සෙත් පිරිත් හඬ දසත පැතිරී ගියේය. ඒ අතර තාප්පයක් මත නැගි මිනිසෙක් පිරිස ආමන්ත්‍රණය කළේය. ඔහු ජවිපෙ නායකයෙකු වූ එච්. බී. හේරත්ය. මේවාට විසදුම් සොයා රටේ පාලකයා සොයා රජ ගෙදරට යාමට සූදානම් වන්නැයි ප්‍රකාශ කළේය.

දසතින් කඳුළු ගෑස් ප්‍රහාර බෝගහ දෙසටත් පිරිස දෙසටත් එල්ලවූයේ ඉන් පසුවය. වෙලාව මධ්‍යයන වී තිබිණි. ජනගඟ කැලඹිණි. සිරිමා බණ්ඩාරනායක  වටකරගත් ආරක්ෂක නිලධාරිහු ඇය බෝගහ අසල විහාරගෙට පළමුවද  දෙවනුව වාහනයකට නග්ග ගත්තාය. බේබි හාමු කොහේදැයි කලබලයෙන් ඇසූ ශ්‍රිලනිපයේ ඉන්ද්‍රපාල අබේවීර විසින් මන්ත්‍රී අනුර බණ්ඩාරනායක රැගෙන වාහනය දෙසට පියඹා ගියේය. සෑම දෙනාම කඳූළු ගෑස්වලින් නැහැවී තිබූ බැවින් තත්ත්වය ඉතා උණුසුම් විය.

මේ සියල්ල අතරතුර එක් භික්ෂුවක් පමණක් පැයක් පමණ කඳුළු ගෑස්වලට නොබියව මුහුණ දෙමින් තනියම විරෝධතාවයේ නිරතව සිටින අයුරු දක්නට ලැබිණි. පසුව ආරක්ෂක භටයින් පිරිසක් හිමිනම ඔසවා වාහනයකට දමන ලදී. එම භික්ෂුව නමින් කෑගල්ලේ විමල සාමනේර හිමිය. උන්වහන්සේ පිටුවල ධම්මකීර්ති හිමි නොහොත් ලෙනින් හාමුදුරුවන්ගේ ගෝලයෙකි. අසූවේ ජූලි වර්ජනයෙන් රැකියාව අහිමිවූ ලෙනින් හාමුදුරුවෝ ජවිපය වෙනුවෙන් ජීවිතයම කැපකල අයෙකි. පසු කාලයේ ධම්මකීර්ති හිමි 1989 අගෝස්තු 22වැනිදා පැහැරගෙන ගොස් තිරස්චින ලෙස ඝාතනයට ලක්වූවේය.

වෙඩි පිට වෙඩි හඬ ඇසිණි. කළුවන් දුම් රොටුවලින් අහස් කුසේ දිස්විය. ඒ බස් ගිනි තැබීමෙනි. මිනිසුන් හිස් ලූ ලූ අත දිවූහ. පිරිස කණ්ඩායම් වශයෙන් පැති කිහිපයකට බෙදී ගියෝය. සූදානම්කල සටන්පාඨ පත්‍රිකා බෙදා හැරිණි. ගිවිසුම් සහ ආණ්ඩු විරෝධී සටන්පාඨ හඬ නැගිණි. ලේක්හවුසිය ඇතුළු ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල විය. සතර අතට පෙළපාලි 10ක් පමණ විසිර ගිය අතර ඒ සෑම පෙළපාලියකම දහසකට අධික පිරිසක් විය.

ගිවිසුම් විරෝධී එම අරගලයේදී කොටුව බෝගහ අසළ වෙඩි තැබීමෙන් ප්‍රථමයෙන් මියගියේ මොරටු සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසු ක්ලිෆඩ් පෙරේරාය. සමස්ථ ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ කාර්යාල භාරකරු පාතේගම මාතුපාල විසින් බිම ඇදවැටුණු ක්ලිෆඩ් ඔසවා ගත්තේය. මාතුපාලගේ අතටද වෙඩි උණ්ඩයක් වැදිණි. එම ස්ථානයේම මොරටු සරසවියේ සිසු නිමල් ලියනගේ ඇතුළු 21 දෙනෙකුගේ සිරුරු සවස්වන විට කොළඹ රෝහලේ මෘතශරීරාගාරයට ගෙනවිත් තිබිණි. ඉන් දෙදෙනෙක් හඳුනාගත නොහැකි විය. ක්ලිෆඩ්ගේ පියා සේවය කළේ මිලර්ස් ආයතනයේය. පසුදින ඔහු හඳුනාගත් පුතාගේ සිරුර රෝහලෙන් ගෙනයෑමටද ලේඛකයා සහාය වූ අතර තම පාසැලේ සමකාලිනයෙකු වූ ක්ලිෆඩ්ගේ අවසන් කටයුතුවලටද සහභාගි විය.

බෝගහ අසලින් බෞතිස්ම කල ජවිපෙ 2වැනි කැරැල්ල රටපුරාම පැතිර ගියේය. වසර 1987 ජුලි 28 සිට අගෝස්තු 02 දක්වා පැවති. ගිවිසුම් විරෝධතාවයන්හිදී වෙඩි ප්‍රහාරවලින් විරෝධතාකරුවන් 132ක් මිය ගියෝය. භික්ෂූන් 56 දෙනෙකු ඇතුළු 712ක් අත්අඩංගුවට ගෙන තිබිණි. එම දින 05 තුළ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් 2,527ක් සිදුවූ බව රජය ප්‍රකාශ  කළේය. එජාප ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග වලට එරෙහිව ජනතා දැනුවත්කර සංවිධාන ගත කරනවාට වඩා ජනතාව පීඩාවට පත්වන ආකාරයේ ක්‍රියාවන්ට බෝගහ යටින් ආරම්භ වූ 2වැනි කැරැල්ල සමඟ ජවිපෙ අවතීරණ විය.

එම දින 5 තුළදී ජවිපෙ කැරළිකරුවන් විසින් තංගල්ල එජාප මන්ත්‍රී ජිනදාස වීරසිංහ ඝාතනය කළේ 1987 ජුලි 31වනදාය. අගුණකොලපැලැස්සේදී විරෝධතාකරුවන්ට මැදීවූ මන්ත්‍රීවරයා වෙඩිතබා මරා දමා තිබිණි. ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ කාලයේ ගම් සභාපතිවරයෙකු වූ ඔහුගේ ඝාතනයෙන් පසු චිට් මන්ත්‍රී ධූරයට පත් කළේ ඔහුගේ පුතාය.

  රජය 1987  ජුලි 28 රාත්‍රියේ ඇදිරි නීතිය පැනවීය. ගිවිසුම අත්සන් කිරීමට රජීව් ගාන්ධි එන බවට වාර්තා විය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ 1987 ජුලි 29වැනිදා පස්වරුවේය.  

ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙර රටපුරා එයට එරෙහිව නායකත්වය දෙන්නේයැයි තොරතුරු ලැබී ඇති සියළුම සරසවි සිසු නායකයින් අත්අඩංගුවට ගැනීමේ මහා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය. ඒ අනුව එක් රැයින් එම මෙහෙයුම ක්‍රියාත්මක විණි. ඒ සරසවි සිසුන් අත්අඩංගුවට ගත් දීපව්‍යාප්ත මෙහෙයුම ක්‍රියාත්මක වුණේ 1987 ජුනි 22වැනිදා මහ රෑය. රහස් පොලිස් වාර්තා අනුව සරසවි සිසුන් 310ක් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම ක්‍රියාත්මක විය. මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී කොළඹ, කැළණිය, මොරටුව සහ ජයවර්ධනපුර සරසවියන්හි සිසු නායකයින් අත්අඩංගුවට ගැනිමට රජයට සහාය වුයේ කොළඹ සරසවියේ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ නායක කේ.එල්. ධර්මසිරි ඇතුළු පිරිසකි. එහෙත් අදාල ස්ථානයන්හිදී අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ සිසු නායකයින් 88 දෙනෙකු පමණි. ඒ අතර ශිෂ්‍යාවක් සහ පැවිදි හිමිවරුන් 10දෙනෙකුද විය. එවැනි මෙහෙයුමක් පිළිබඳව තෙදිනකට පමණ පෙර යම් ඉවක් වැටී තිබුණු හෙයින් බොහෝ දෙනා සිය නවාතැන් වෙනස්කර තිබිණි. එය එකවර අත්අඩංගුවට ගත් විශාලතම සරසවි සිසු පිරිස විය.

ඒ අතර කොළඹ සරසවියේ ගෙවිදු කුමාරතුංග, පුෂ්ප විතානගේ, හේමන්ත චන්ද්‍රසිරි, අනූප පැස්කුවල්, රොෂාන් ගුණවර්ධන, එම්.ඩී.එච්.එම්. විමලසූරිය, විරාජ් පීරිස්, මංගල හිමි, ආනන්ද හිමි, උපනන්ද හිමි, ආයුර්වේද පීඨයේ නිමල් කරුණාසිරිද පේරාදෙණි සරසවියේ රංජිතම් ගුණරත්නම්, අයි. බාලසූරිය, ජූඩ් පරාක්‍රම, ධර්මප්‍රිය ජයනන්ද, සුසන්ත සපුතත්ත්‍රී,  මහේෂ් පෙරේරා, මොහොමඩි ඉක්බාල්, වී. අරුන්දවරාජා, එන්. සිවනේස්වරන්, නයනා ප්‍රේමසිරි, එම්. එස්. ආර්. කුරේ, කීර්ති කුමාර මද්දුමපටබැදිගේ, එල්. අබේරත්න, එස්.ඊ. මොල්ලිගොඩ, ප්‍රසන්න වික්‍රමසිංහ, රංජිත් රණවීර, තිලකසිරි වනසිංහ, ජේපී. ප්‍රනාන්දු, අතුරලියේ රතන හිමි, පොද්දල්ගොඩ ඛේමානන්ද   හිමි, මැදගම පඤ්ඤසාර හිමි, නන්දසිරි බලන්ගොඩ, සාලිය යාලපොල, එස්.ඒ.ජේ.කේ. ගුණතිලක, සුමනරත්න ජයසිංහ, මහේෂ් ද සිල්වා, විරෝෂන් ගුණසේකර, දුම්බර මණ්ඩපයේ පානදුර ආනන්ද හිමි ඇතුළු කිහිපදෙනෙක්ම විය.

එමෙන්ම මොරටු සරසවි සිසුන් වූ සුනිල් ශාන්ත, ඩී.එන්.ද. සිල්වා, සුමිත් ද අල්විස්, අශෝක අභයගුණවර්ධනද රුහුණු සරසවියේ ඊ.ඒ. එදිරිසිංහ, පී.එස්.කේ. ආරියරත්න, විස්මන් පෙරේරා, විමලසිරි, ප්‍රේමතිලක, ඩී.ආර්. නිශ්ශංක, ඩේමියන් වීරක්කොඩි, ප්‍රසන්න හිරිමුතුගොඩ, තිලක් ගුණවර්ධන, බී.ඒ. විජේසිරි, හරිස්චන්ද්‍ර, නිමල් ඩී. රුවන්පතිරණ, ආර්. සමරසිංහ, දේව මයිකල් පෙරේරා, ජනිදාස, තිලක් තීරවැල්ල, සරත් පීරිස්, එම්. ධර්මතිලක, සිරිමාන්න, එම්. බී. ජයසිරි, බී.එල්.කේ. නන්දසේනද ජයවර්ධනපුර සරසවි සිසුන් වු හේමන්ත අබේසූරිය, නන්දසිරි, සමරතුංග, කමල් ප්‍රනාන්දු, ප්‍රීතිමාල්, ලලිත්, පාලිතද. කැළණිය සරසවියෙන් මොහාන්ලාල් වල්ගමගේ, රුවන් වසන්ත, බලහරුවේ සෝම හිමි, සේනාධීර, මාදම්පේ නන්දාරාම හිමි, දුනකවත්තේ ගුණරත්න හිමි, ගම්මාදගම ගුණසිරි හිමි ඇතුළු පිරිසක් ඒ අතර විය.  

මෙසේ අත්අඩංගුවට ගත් 88 දෙනාගෙන් 71 දෙනෙකු කොළඹ මැගසින් බන්ධනාගාරයට ගෙනවිත් රඳවා තැබිණි. ඔවුනට පහරදීමක් සිදු නොවූ අතර රජයේ එකම අරමුණ වූයේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කර නිමවන තෙක් රඳවා තැබීමය. හදිසි නීති රෙගුලාසි 87 යටතේ රඳවාගත් ඔවුන් බැලීමට ඔවුන්ගේ කිට්ටු ඥාතීන්ට අවසර ලැබූණේ සතියකට දෙවරක්  පමණි. එම සරසවි සිසු නායකයින්ට අමතරව  ජවිපෙ ක්‍රියාකාරිකයින් 55 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන රඳවා තිබිණි. ඔවුන් අතර සමන් වික්‍රමබන්දු, ගාමිණී ජයලත්, බුද්ධදාස විතානාරච්චිද විය. ඉහත සරසවි සිසුන් 88 දෙනා අතරින් 6 දෙනෙක් හැර අනිකුත් අය 1987 අගෝස්තු මස 05වනදා වන විට කොටස් කිහිපයක් වශයෙන් නිදහස් කර තිබිණි"

          - ධර්මන් වික්‍රමරත්න 

උපුටාගැනීම:
බෝගහ යටින් ජවිපෙ 2වැනි කැරැල්ල වීදි බසී'
 -Sunday Lankadeepa, Diyatha 2018/ 07/ 29

 "ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථයෙනි"

නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී ශිෂ්‍යයින්ගේ සංගමයක් ඇයි?

ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ආරම්භකයින් ජාතිකවාදී බලවේග. විශ්වවිද්‍යාල සිසුන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව ආරම්භයේ මහජනයාගේ අනුමැතියක් හා ප්‍රසාදයක් තිබුණත් මේ වන විට එය පක්ෂවල අතකොලු බවට පත්ව ඇති පිරිස් නිසා නැති වී ගිහින්.

ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය වාමාංශික පක්ෂ අත්පත් කරගැනීමත් පක්ෂවල අරමුණු වෙනුවෙන් පිරිසක් සොයා ගැනීම උදෙසා සිසුන් භාවිත කරගැනීමට උත්සාහ කිරීමත් සමඟ ශිෂ්‍ය ව්‍යාපාරයේ සැබෑ සටන් සඳහාවත් මහජන සහය ලබා ගැනීම දුෂ්කර වී හමාරයි.

ශිෂ්‍ය ව්‍යාපාර, අරගල කියන්නේ බලය ඇල්ලීමේ හා බලය තහවුරු කර ගැනීමේ උපක්‍රම බවට පත් වීමත් එක්ක ශිෂ්‍ය අරගලවල මුහුණත ශිෂ්‍යයින්ට ඇඟට දැනෙන විරෝධතා අත්දැකීමක් ලබා දෙන තැනට ලඝු වෙලා ගිහින්.

අවුවේ ඇවිද්දොත් කෑ ගැහුවොත් වැඩක් කළා සේ දැනෙන මට්ටමට සිසුන් බොළඳ බවට පත් කර තිබේ. මේවා අනවශ්‍ය බව අපි නො කියමු. එහෙත් ප්‍රශ්නය විසඳීම සඳහා ගත හැකි පියවරවලට අත නොතබා බහුතර සිසුන්ට වැඩක් කරන බව පෙන්වීම මුල් තැන තබා ක්‍රියාකිරීම ගැන අප පසු විපරම් කළ යුතු ය.

ශිෂ්‍ය ව්‍යාපාරයේ ගිලිහී ගිය පරිණතභාවය හා සෛද්ධාන්තිකත්වය නැවත ඊට අත්කර දීමේ අරමුණෙන් ජාතිකවාදීන් වන අපි නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී ශිෂ්‍යයින්ගේ සංගමය වශයෙන් ඉන්දු ලංකා ගිවිසුමට එරෙහි කොටුව දුම්රිය ස්ථාන විරෝධතාවට විසි වසරක් සපිරෙන අද දින සිට ඇප කැප වෙමු.