Saturday, July 27, 2019

නවකවදය හා ශිෂ්‍ය ව්‍යාපාරය




නවකවදය සරසවි පද්ධතිය අප්‍රසාදයට පත් වන ප්‍රධාන හේතුවකි. නවකවදය දෙන බව පවතින බව සැවොම දනිතත් පුදුමාකාර ලෙස ශිෂ්‍ය සංගම් මෙහි වගකීමෙන් අත පිහ දා ගනිති.

"විශ්වවිද්‍යාල කියන්නෙත් බාහිර සමාජයේ ම කොටසක්. බාහිර සමාජයේ පසුගාමීත්වය ඒ ඇතුළෙ ම තියෙනවා. අපිට මේක වෙනස් කරන්න බෑ."

මෙහෙම කියන ශිෂ්‍ය සංගම් නායකයින් බහුතරය එළියේ සිස්ටම් එක වෙනස් කිරීමට කතා කරන විප්ලවවාදීන් ය.

"කැම්පස් එකේ වැඩට ළමයි ගෙන්න ගන්න රැග් කරන කෙනා නරුමයෙක් විදිහට දකින්න බෑ."

විප්ලවවාදීහු තවදුරටත් ඉතා ම ගතානුගතික වෙති.

තවත් ටිකක් දුර යන විට ඔවුහු මෙහෙම ම කියති.
"රැග් එකට ළමයි ගන්නේ ඒ අයගේ කැමත්තෙන්. නවකයා රැග් එකට කැමති කර ගැනීම ජ්‍යෙෂ්ඨයාගේ පෞරුෂය ගැන දෙයක්"

මෙහෙම කියන විප්ලවවාදීන් හැන්දෑවට බුකියට ලොග් වී කියන්නේ පාලකයා අනුමත කරන ජනතාවක් බිහි වෙන්නේ පාලක පන්තියේ හෙජමනිය නිසා බව ය.

වෙනත් පිරිසකගේ ආධිපත්‍යය කැමැත්තෙන් පිළිගැනීමට ලක් කෙරෙන තත්වය හෙජමනිය ලෙස ඔවුන් වැඩිදුරටත් කියනු ඇත.

නවකවදය ඇති වන්නේ පේරාදෙණිය සරසවියේ කුල්ටූර් ඕපැක් බෙදුම පසුබිම් කරගෙන බව පෙනේ. පසු කාලීනව එය විවිධ ප්‍රවේශවලින් වර්ධනය වුණු අතර අනූව දශකයේ සිට දේශපාලනික මෙවලමක් වශයෙන් නවකවදය යොදා ගැනීම ඇරඹුණි.

ශිෂ්‍ය ව්‍යාපාරයේ වාමාංශික බලවේග නවකවදය ගැන දැක්වූයේ ඇල්මැරුණ ප්‍රතිචාරයකි. එක්කෝ ඔවුහු යටි හිතින් එය තිබිය යුතු යැයි සිතූ හ. නැතිනම් දේශපාලනය සඳහා තිරයෙන් පිට එය යොදාගත් හ.

නවකවදය ඉවත් කිරීම සිදු කළේ ජාතිකවාදී ශිෂ්‍ය ක්‍රියාකාරිත්වය බලයට පත් වුණු තැන්වල පමණි.

දේශාපාලන බලවේගවලින් පිටත සිසුන් නවකවදය අනුමත කරන ප්‍රධාන කරුණු වන්නේ සිසුන් පොදු සමාජ ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීම නවකවදය නිසා නොවන්නට ඉතා අඩු බවයි.

එහෙත් පැහැදිලිව ම මේ වන විට පෙනෙන්නේ නවකවදය තිබුණ ද එම කාල සීමාවෙන් පසු බුද්ධිමය හෝ සංස්කෘතික වැඩසටහනකට සිසුන් සහභාගී නොවන තරම් බව ය.

මෙයට හේතුව වන්නේ සරසවියට ඒමට පෙර සිට ම සිසුන් බාහිර පරිසරයේ දී නවකවදයට ද වඩා දරුණු අසීමිත වදයකට ලක් වීමයි. අපේ අධ්‍යාපනය ඵල රහිත පීඩනයට ලක් කිරීම්වලින් පිරී ඇත. දහතුන් අවුරුද්දක් වදයෙන් හෙම්බත් වන සිසුන් සරසවියට පැමිණ කිසිදු බුද්ධිමය ක්‍රියාකාරකමක නොයැලී සහතික රැගෙන ඔහේ පිට වී යෑම අරුමයක් නො වේ. මේ වදයට විරුද්ධව නවකවදය ගෙන ඒමෙන් මෙය විසඳෙන්නේ නැත.

නවකවදය ඉවත් කිරීම සමඟ ම මේ පැරණි වදය ද ඉවත් කිරීමට උත්සුක විය යුතු ය.

මේ අතරතුර මිතුරකු නවකවදය පැවතීම ගැන කී කතාවක් සිහියට නැඟේ.

නවකවදය ජ්‍යෙෂ්ඨ සිසුන්හට කනිෂ්ඨ සිසුවියන් වෙත ප්‍රවේශ වීම සඳහා පහසු මාවතකි.
මේ පිළිබඳව ආමන්ත්‍රණය කිරීමෙන් තොරව නවකවදය අවසන් කිරීම කිසිදා නොවනු ඇත.


No comments:

Post a Comment